මහ කන්නයේ වී වගා සහනාධාර වෙනුවෙන් රු. බිලියන 12ක්

Spread the love

මහ කන්නයේ වී වගාව සඳහා මූල්‍ය සහනාධාර ලබා දීමට රුපියල් බිලියන 12ක් මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියනයක් පළමු අදියර ලෙස ගොවි ගිණුම් වෙත බෙදා හැරීමට නියමිතය. ඒ අනුව අදාළ මුදල් ගොවීන්ට ගිණුම්ගත කිරීම සඳහා දිස්ත්‍රික් කාර්යාලවල ගිණුම්වලට අද (06දා) බැර කර තිබිණ.

මෙවර මහ කන්නයේ දී වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මූල්‍ය සහනාධාරයක් ගොවීන්ට ලබා දීමට නියමිත අතර, වී වගා කටයුතු ආරම්භ කර ඇති ආකාරය හා තහවුරු කරගෙන ඇති ගොවි නාම ලේඛන සැලකිල්ලට ගනිමින් පිළිවෙළින් මුදල් ගොවි ගිණුම් වෙත බැර කිරීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේ පළමු වාරිකය වශයෙන් රුපියල් මිලියන 1000ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් ලබා දී ඇති බවත්, රජය සතු මුදල් තත්ත්වය සහ වී වගා කටයුතු ආරම්භ කෙරෙන ආකාරය සැලකිල්ලට ගනිමින් ඉතිරි මූල්‍ය ප්‍රතිපාදන ගිණුම් ගත කිරීමට පියවර ගන්නා බවත්ය.  

“මෙම මුදල් අද හෙටම  ගොවි ගිණුම්වලින් ලබා ගත හැකි යැයි නොසිතිය යුතුයි. මක්නිසාද යත් කුඹුරු වගා කිරීමේදී මෙම මුදල් හිමිවන්නේ වගා කරන පුද්ගලයාටයි. සමහර කුඹුරු අයිතිය ඇති කෙනා නොවෙයි වගා කරන්නේ. ඒ නිසා ඒ සම්බන්ධවත් අපි අවධානය යොමු කරනවා. වගා කරන පුද්ගලයාටම අදාළ මුදල් ලබා දීමට අප පියවර ගන්නවා. ඒ සඳහා නාම ලේඛන නැවත සොයා බැලිය යුතුයි. කුඹුරු වගා කරන අය සෑම වගා කන්නයකදීම වෙනස් වන තත්ත්වයකුත් තිබෙනවා.

ඒ වගේම රජයේ මුදල් තත්ත්වයත් සැලකිල්ලට ගත යුතුයි. රුපියල් බිලියන 12කින් පළමු රුපියල් බිලියනය තමයි අද අපි බෙදා දෙන්නේ. මුදල් අමාත්‍යාංශය විසින් ඉතිරි මුදල් ලබා දෙන ආකාරය අනුවයි අපි මුදල් ගිණුම් ගත කරන්නේ. නමුත් වී වගා කරන හැම ගොවියෙකුටම අපි මෙම සහන මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලබා දෙනවා” යනුවෙන්ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ 08ක වී වගා කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සඳහන් කරන ලදි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x